CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

ග්‍රීන්ගේ ශතකය ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කරයි

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර වෙලිංටන්හිදී අද (29 වැනිදා) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 279 ක් ලබා සිටියේය. 

ඒ වන විට කැමරන් ග්‍රීන් හතරේ පහර 16 ක් සමග නොදැවී ලකුණු 103 ක් ලබා සිටි අතර එය ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය විය. මිචෙල් මාෂ් (40) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ග්‍රීන් සමත් විය.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටීවන් ස්මිත් (31) සහ උස්මාන් කවාජා (33) ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 4 ක්ද, කවාජාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

දක්ෂ පන්දු යැවිමක නිරත වූ මැතිව් හෙන්රි ලකුණු 43 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා හෙන්රිට අනගි සහායක් දුන් විලියම් ඕරුක් සහ ස්කොට් කුගිලීජන් කඩුලු 2 බැගින් දවාගත්හ.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – කඩුලු 9 ක් දැවී 279 
(ස්ටීවන් ස්මිත් 31, උස්මාන් කවාජා 33, කැමරන් ග්‍රීන් නොදැවී 103, මිචෙල් මාෂ් 40, පැට් කමින්ස් 16, මැතිව් හෙන්රි 43/4, ලියම් ඕරුක් 59/2, ස්කොට් කුගිලීජන් 56/2)

Related Articles

Back to top button